ඉන්දියාවේ උපන් නිල් වෙරළු


 
වෙරළු ගැන අපි කවුරුත් අසා දැන ඇත්තෙමු. එය ලොකු කුඩා කාගේත් සිත දිනා ගත් පලතුරකි. එහෙත් ඔබ නිල් වෙරළු ගැන අසා ඇත්තේ ද? මේ එම නිල් වෙරළු පලතුරෙහි කතාන්දරයයි. නිල් වෙරළු යනු ඉන්දියාව නිජ බිම කර ගත් පලතුරකි. එසේම හිමාලය කඳු පාමුල පිහිටි ගංගා තැනිතලාවේ සිට නේපාලය, තායිලන්තය, බංග්ලාදේශය වැනි රටවල ද ව්‍යාප්තව පවතියි. එහි විද්‍යාත්මක නාමය Elaeocarpus ganitrus යන්න ය. මෙම විශේෂ 300 න් 35 ක්ම ඉන්දියාවේ දක්නට ලැබේ. එය සදාකාලික ව වැඩෙන සදාහරිත ගසකි. තව ද, නිල් වෙරළු සම්බන්ධයෙන් පුරාවෘත්තයක් ද වේ.
දුර්ලභ ශාකයක් ලෙස හැඳින්වෙන මෙය ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයකදී පමණක් දැක ගත හැකි වේ. රසයෙන් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය වෙරළු ඵලයට සමාන වන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ ඵලය දීප්තිමත් නිල් පැහැති වර්ණයෙන් යුක්ත වීම ය. ගස පරිණත වන විට, කඳ අසල නැඟී මුල් බිම මතුපිටින් විහිදේ. නිල් වෙරළු ශාකය දුර්ලභ වුව ද ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ වැනි ප්‍රදේශවල බහුලව දැක ගත හැකිය. මෙහි ඵලය හටගන්නේ අවුරුද්දේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදීය. නිල් වෙරළු ගස සාමාන්‍ය වෙරළු ගස්වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර උස අඩි 40-60 දක්වා විහිදේ. එසේම වෙරළු ශාකයට වඩා නිල් වෙරළු ශාකය දැඩි ගතියකින් ද යුක්ත ය. එහි පත්‍ර ද දිගටි හැඩයෙන් යුක්ත වේ. වෙරළු ගෙඩියේ හැඩය රගර් බෝලයක හැඩයක් වුවත් නිල් වෙරළු ගෙඩිය රවුම් හැඩයක් ගනියි. එමෙන්ම වෙරළු ගෙඩියේ ඇතුළත තිබෙන ඇටය සේම නිල් වෙරළු ගෙඩියේ ඇටය ද රැලි ස්වභාවයක් ගනියි.
තවද නිල් වෙරළු ගෙඩියේ ඔබ නොදත් කතාවක් ඇත.
වෙරළු මෙන්ම නිල් වෙරළුත් පලතුරක් වුව ද නිල් වෙරළු තවත් කටයුත්තක් සඳහා භාවිතා කරයි. නිල් වෙරළුවලට කියන තවත් නමක් වන්නේ රුද්‍රාක්ෂ යනුවෙනි. නිල් වෙරළු සහ දෙවියන් අතර බැඳීමක් පවතින බව ජනවහරේ මතයක් පවතී. “ශිව දෙවියන්ගේ කඳුළින් හට ගත් බීජය” ලෙසත් නිල් වෙරළු සලකනු ලබයි. ශරීරයේ ඇති ලප කැළැල්, තුවාල සඳහා නිල් වෙරළු බීජය කුඩු කර ආලේප කිරීමෙන් එම තුවාල සුව වන බව ජන සමාජය තුළ මතයක් ද පවතී. එමෙන්ම මෙම නිල් වෙරළු පලතුරක් වශයෙන් කෑමට ගන්නේ නම් ශරීරයට වැලඳෙන බොහෝ රෝගවලට සහනයක් ගෙන දෙමින් නීරෝගි කිරීමට හැකියාවක් ලැබෙන බව සදහන් වේ. එම රෝග අතර ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමට, කොලෙස්ටරෝල් පාලනය කිරීමට, උණ ගැනීම සුවපත් කිරීමට, අධික රුධිර පීඩනයට සහනය, මානසික රෝගවලින් ආරක්ෂා වීමට, උගුරේ ආබාධ සුව කිරීමට හා ස්නායු ආබාධ සුව කිරීමට මෙය ඉවහල් වන බව සඳහන්ය.

Post a Comment

0 Comments