පොඩ්ඩියේ ...🎶✍️


 


වචන වලින් පුළුවන් හදවත කුඩුවෙන්න වෙඩි තියන්න වගේම  පිහිය කින් හදවතේ ගැඹුරුම තැන හූරන්න. පොඩ්ඩියේ එවැනි නිර්මාණයකි.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ සුවිශාල වෙනසක් සිදු කරමින් ටිම්රාන් කීර්තිගේ පද රචනයෙන් හා සාදර බණ්ඩාරගේ ගායනයෙන් හා සංගීතයෙන් සුභාවිත වේ.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට.

🔴අම්මා ගණිකාවක් නිසා අවුරුදු දා ඇයට වැදීමට නොහැකි බැව් කී නැගණියට අයියා විසින් කරන තරවටුව......



අයියා නංගිට දෙනු ලබන අවවාදයකින් මෙම ගීතය ආරම්භ වේ. පොඩ්ඩියේ ගීතයේ අම්මා ගණිකාවකි. අම්මා ගණිකාවක් බව අයියා දැන සිටියත් නංගී නොදනී.නංගී ඒ ගැන දැන ගන්නේ  බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..අප්‍රියෙල් මාසයේ අවුරුදු දවසේ ය. නංගිට ආත්ම සන්තාපයක් දැනේ. මන්දයත් අම්මා  ඇඟ විකුණා සෙවූ මුදල් වලින් නේද මෙච්චර කල්  කෑවේ බිව්වේ කියලා ඒ ආත්ම සන්තාපයක් සමග පිට කරයි. නංගි අම්මට බනිද්දී  ගී පද කරුවා අසන්නේ ඔබ ඔබේ තරහ අම්මගෙ පිට කරනවද කියලා.මේහි  "ගේම"" කියන පදයෙන් ගීපද කරුවා හඟවන්නේ අයියාගේ ඇති නූගත් භාවය නොව නූගත් අයියා කෙනෙක් වුවත් සමාජය පිළිබඳ කොපමණ දැනුමක් තිබේ ද යන්නයි .
                 
                නංගිට සමාජ දැනුමක් නොමැතිව අම්මට බනිද්දී ,අයියා මෙලෙස පවසයි.වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම.. නංගියෙ ඔබයි මායි නිසා තමයි අම්මට වැරදුනේ.. උඹටයි මටයි කන්න දෙන්න තමයි අම්මා ගණිකාවක් උනේ... ඉතින් ඇය වැරදි වෙන්නේ කොහොමද.. මතක තියාගන්න අම්මා ගණිකාවක් වුණත් ඒ ඔබේ අම්මා යි කියා අයියා නංගිට අවවාද කරයි.

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
පත්තිනි කතාවේ කන්නගී තමන්ගේ ස්වාමියා වූ කෝවලන්ව මරා දැමූ පඬි රට රජුට ශාප කරලා වම් තනේ කඩල පොලවේ  ගැහුවම ඒ සාපේ නිසා පඬි රට ගිනි ගනියි. ඒත් පතිවත රැකීමේ අනුහසින් කන්නගී පත්තිනි දෙස දේවත්වයට පත්විය.
පත්තිනි දෙවියෝ පතිවෘතා බලයෙන් මුලු පඩි පුරයම ගිනි තියන ලදී. නංගියේ අම්මාත් එසේ කරන්නට සිතාගෙන සිටියා නම් අපි තාමත් හාමතේ මැරිල අපි නංගියෙ...කෲර සමාජය තුළ අම්මා පතිවෘතාව රැක්කා නම් තාමත් අපි මේ වන විට හාමතේ කන්න දෙයක් නොමැතිව මැරිලා..
නංගි ඔබට මෙච්චර කාලයක් කන්න දුන්නු දේවල් විසයි කියලා හිතනවා නම් ඔබට අම්මා කළේ වැරැද්දක් කියලා දන්නවනම් පඩිපුර ගිනි තියපන් අම්මට බනින්න එපා..  මේ වැරැද්දට පෙළබුව  මුළු මහත් සමාජයටම බනින්න යැයි අයියා කියයි .

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
මේ සමාජය තුළ අම්මට කතා කරන්නේ කෙසේද සමාජය තුළ මිනිසුන්ගේ වැරැද්ද නිසාම තමයි අම්මා ගණිකාවක් බවට පත්වුණේ. අම්මට කතා කරන්නේ සතා කියාය .නපුරු වචනෙ  කියලා ඇය ගණිකාවක් කියලා ඇයගෙන් පහස ලබන මිනිසුනම ඇයට නරක ලෙස කතා කරයි. හැබැයි මතක තියාගන්න ඔය කතා කරන සියලු දෙනා බෝසත්තු නොවේ .සුදු ඇදගෙන ඉන්නේ කලු චරිතයි.  අම්මා ගණිකාවක් බවට පත් කෙරු අශිෂ්ට සමාජයේ  සිටින අශිෂ්ට මිනිස්සු අම්මගෙන් පහස ලබන අය ම තමා නරක වචන වලින් බනින්නෙ.. එසේ නම් ඒ සුදු ඇඳගෙන සිටින මිනිසුන් සුදු චරිත නොවෙයි කළු චරිත බව මතක තියාගන්න බව පවසයි.

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
නංගිට තේරුම් කරලා කීවත් ඒ තේරුම් ගන්නේ නැතිකොට සැර පරුෂ විදියට අයියා නංගිට කියන්නේ තවත් කතන්දර නොකියා  අම්මා ට වඳින්න අයියා සැරට අවවාද කරයි .කතන්දර එපා කියන වචනය වර්තමාන සමාජය තුළ නිතරම භාවිතා වන වචනයකි. ඒ අයියා විසින්  නංගිගෙ හදවතට වදින ආකාරයටත් පාඨකයාට හැඟෙන ආකාරයට නිරූපණය කරයි .මුල් පද පේලියේ අයියා විසින් නංගිට දෙන උපදේශ සඳහන් කරයි. මේ සමාජයේ අම්මා ගණිකාවක් උනේ කොහොමද ..ඒ ගණිකාවන්  තුළ මිනිස්සුන්ට අම්මාව ආමන්ත්‍රණය කරන ආකාරයදක්වා ඇත.

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
මෙම වචන ටික තමයි ගීතයේ ඇති ආන්දෝලනාත්මක හදවතට කතා කතාකරන වචන ලෙස හැඳින්විය හැක. මෙම කාන්තාවගේ සැමියා අත හැරදා ගොස්ය. එසේත් නැතිනම් සැමියා මියගොස් ය. මෙය සිදු වූ පසු කාන්තාව තනිවෙයි. කාන්තාවට සමාජය තුළ කර ගැනීමට දෙයක් නොමැති වෙයි. දිළිඳුභාවයට පත්වේ. දිළිඳු භාවය හමුවේ තම පුතාට සහ දුවට කන්න අඳින්න දීමට මෙම අම්මාට නොහැකි වේ. මෙම අම්මට තමන්ගේ දරුවන් පෝෂණය කරගැනීමට අවශ්‍ය නිසා අම්මා ගණිකාවක් වෙයි .සමාජය අම්මට යෝජනා කරපු දෙය ලෙස අම්මා ගණිකාවක් ලෙස පිළිගනී .ගණිකාවක් වූ අම්මා පන්සලට දෙනු ලබන දානය නවත්වන ලදී. ආත්ම තෘප්තියක් ඇයට නැත. ඇඟ විකුණා සොයන මුදල්වලින් පන්සලට දානය දීමට නොහැක. පන්සලට ගිය විට මිනිසුන් පරිභව කරති." දන්කන්ද නැති දාට "එයින් අදහස් වන්නේ ඇය ගේ දිළිඳු භාවය නිසා පන්සලත් සමග ඇති සම්බන්ධය යයි. ඇය නිතරම පන්සලට නොයයි .එම නිසා ඇය උපාසිකාවක් නොවේ. පන්සලට ගියානම් රන් කඳක් නොව පිං කඳක් වෙයි. ඇයත් උපාසිකාවක් වෙයි. නමුත් තමාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පන්සලට නො යාමටත් විවිධ හේතු නිසා ඇය රන් කඳක් බවට පත්වේ. කාමාතුර මිනිස්සුන්ගෙන් පහරදෙන තැනැත්තියක් බවට ඇය ව දකින්නට පටන් ගැනිණි .

ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
සමාජයේ සිටින ඉහළ පැලැන්තියේ පුද්ගලයන්  හාමුදුරුවන් යැයි කියා ආමන්ත්‍රණය කරයි .පන්සලේ සිටින හාමුදුරුවරුන්ට මෙන්ම  හාමුදුරුවෝ යනුවෙන් අදහස් කරන්නේ හාමුලා හාමුලාගේ පුතාලා ආරච්චිල මෙන් සමාජය තුළ සිටින ඉහළ පැළැන්තියේ සිටින මිනිසුන් මෙම පදයෙන් අදහස් කරන ලදී .ඇත්තටම සුදු ඇඳගෙන සිටිය දී එහි ඇතුලේ පවතින සුදු චරිත නොව ඒ චරිත තුළ  කළු ගොඩක් ඇති බව පෙන්නුම් කරයි .

මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
පන්සලේ සිටින මුචලින්ද නාගයාගේ ඇසෙන් කඳුළු බිඳුවක් වැටුණේ සමාජයේ හොඳයි යහපත් කියා සිතන සුදු ඇඳගෙන සිටින චරිත කරන කළු වැඩ නිසාමය. මුචලින්ද නාගයා ගෙන් කඳුළක් වැටෙනු ඇත . මුචලින්දට දුක හිතෙන්නට ඇත. අද සමාජයේ මිනිසුන්ව මුළා කරන ආකාරය දුටු විට ඉහළ පැලැන්තියේ අය පාවිච්චි කරන ආකාරයත් සුදු චරිත කළු චරිත බව මවා පෑම නිසා මුචලින්ද දුක හිතුනා විය හැකිය.

අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..
බුදු ගෙය  යන්න ජන සංකේතය භාවිතා කළේ පවිත්‍ර යන්නය. පන්සල තුළ සිදු වූ අශිෂ්ට දේවල් මෙම සමාජයට නොගැළපෙන යයි කියයි.  ආන්දෝලනාත්මක ලෙස කවියා පෙන්නුම් කරයි .ආගමික ස්ථානවල මෙන්ම මිනිසුන් තුළ ඇති කළු චරිත පිළිබඳ විවරණය කිරීමක් මෙහිදී දැකගත හැකිය.

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
යකඩ රත් වුන විට කැපීමට පහසු වේ. එනම් සමාජය තුළ වැරැද්ද තිබෙන කාන්තාවක් දුටුවිට  එම වැරැද්ද ම සමාජය තුළ ඉස්මතු කිරීම ඇය ගණිකාවක් ලෙස හුවා දක්වමින් ඇයගේන් ප්‍රයෝජන ගනියි  .සමාජයේ තුළ තැළෙන පොඩිවන ආකාරය රත් වෙච්ච යකඩයක් ලෙස විවරණය කර කරයි .

මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
බඹරු මත් වූ විට මලේ සුවඳ නොදැනේ. මල ඉටි ද යන්න වැදගත් වන්නේ නැත. මිනිසුන්ගේ මත් වූ විට එම මනුස්සයා බුද්ධිය හීන වේ. සල්ලි වලින් , කාමාශාවෙන් සිටීමෙන්  සිතීමේ ශක්තිය හීන වී මත් ගතිය නිසා සුවඳ මලක් ද ඉටියෙන් හදපු මලක් ද කියා නොසොයයි. බඹරා මල සොයා යයි.. ඇත්තටම නංගියෙ මොනවද උන් දන්නේ.. සුදු ඇඳගෙන සමාජයේ වැඩිම හරියක් ඉන්නේ  සුදු ඇදගත් කළු චරිතයි. ලෝකේ ගැන මොනවද ඔබ දාන්නෙ නංගියෙ කියා අයියා අසයි.

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..
වැරදි සොයන මිනිසුන් ළඟ කොපමණ වැරදි තියෙනවද.. එක වැරැද්දක් තියා මනුස්සයෙක්ගේ වැරදි සොයන කෙනාගෙ මහා කන්දක් වැරදි තිබෙන්නට පුළුවන්. අම්මට අම්මා ගණිකාවක් කියලා කියන්නේ නරක වැඩ කරන අයමයි. ලෝකර විදියෙම වැඩ කරන ගෑනු රත්තරං කියලා රත් වෙච්ච  යකඩ තලනවා නම්, හොඳට මල් ගැන දන්න බඹරු ඉටි මල් වල වහනවා නම් එවැනි මිනිසුන්ට වැරදෙන ලෝකෙක අම්මව විත්තිකාරිය කරන්න නංගියෙ උඹට තිබෙන දැනුම මොකක්ද ...ඒ උබේ අම්මා.
කතන්දර එපා - වැඳපන් අම්මාට....
අයියාගේ තරවටුව එයයි .

🔴සුන්දර ගැහැනිය පිටුපස තිබෙන අසුන්දර ගැහැනියකගේ ඉරනම්  කතාව තුළ මේ ගීතය ෆැන්ටසිය හා සෙමිෆැන්ටසිය අතර තිබෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කළ මිනිසුන්ගේ හදවතට කතා කරන නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

Post a Comment

16 Comments

  1. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete