මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කළ දෑ බොහෝ ය. ඒ අතර මිනිසාට වඩාත් ම
බලපෑම් කරන්නා වූත්, විශිෂ්ට වූත් ප්රබලතම නිර්මාණය වනුයේ භාෂාවයි. භාෂාවක් යනු හුදු සංඥාමාත්රයක් හෝ
සන්නිවේදනය මාධ්යයක් පමණක් නොවේ. එය එක් අතකින් කිසියම් ජාතියක අනන්යතාව
මූර්තිමත් කරන ප්රධාන මාධ්යයකි. තවත් අතකික් එකී ජාතියට අයත් සංස්කෘතියේ ප්රවාහකයා ද වේ. ලොව
වෙසෙන සියලු සත්ව කොට්ඨාස අතරින් මිනිසාට හිමි වන්නේ සුවිශේෂීතම ස්ථානයකි. එසේ
මිනිසා හඳුනාගැනීමේදී භාෂාව මිනුම් දණ්ඩක් වශයෙන් යොදාගත හැකිය. භාෂාව අර්ථකථනය
කිරීමේදී “මිනිස් මනසින් පහළ වූ ගුප්ත මෙන් ම අභිරහස් නිර්මාණයකි” වශයෙන්
විද්වතුන් දක්වන්නේ එබැවිනි. මිනිස් සිත තුළ පවතින්නා වූ විවිධාකාර සුන්දර හැඟීම්
මෙන් ම විවිධාකාර භාව විග්රහ කිරීමට හා ඒවා වදන් බවට පරිවර්තනය කිරීමට මිනිසාට ඇති හැකියාව මත
සවිඥානකව සිතීමේ මෙන්ම සවිඥානකව හැඟීම් ඇති කරගැනීමේත් ශක්යතාව තීරණය
වේ. භාෂාව නම් අපූර්වතම සන්නිවේදන මෙවලම බිහිවන්නේ සවිඥානකව සිතීමේ හා සවිඥානකව
හැඟීම් ඇති කරගැනීමේ නිර්මාණද්වයෙහි මනා සංකලනයෙනි.
භාෂාවට මිනිස් හදවත කියවිය හැකි ය. භාෂාව මිනිස් හදවත විනිවිද දක්වනා වූ
කැඩපතකි. මානව සංවර්ධනය හා පැවැත්ම සමඟ භාෂාවේ ඇත්තේ සජීවී සම්බන්ධයකි. භාෂාව
වූකලී නිරන්තරයෙන් ම විවිධාකාර වෙනස්කම්වලට භාජනය වන්නකි. නව යෙදුම්
හා නව වචන එකතු වෙමින් මිනිසාගේ දෛනික අවශ්යතාවලට
අනුකූලව සකස් වන භාෂාව නිරන්තරයෙන් ජීවමාන ස්වභාවයක් ගන්නා වූ ද නියම දක්ෂතාව
ලැබීම සඳහා පුද්ගලයකු විසින් කලක් මුළුල්ලේ ප්රගුණ කළ
යුතු වූ සියුම් කලාවකි. භාෂාව වූකලී නිරන්තරයෙන් ම වෙනස්වීම්වලට භාජනය වන දෙයකි.
කුලය, ධනය, බලය, රැකියාව ආදී ධනාරෝපිත තත්ත්වයක් බොහෝ දුරට විද්යමාන වේ.
ලොව බොහෝ භාෂාවල මේ තත්ත්වය දැකිය හැකි ය. ජපන්, කොරියන්, ජාවා, තායි ආදී
භාෂාවන්හි ද මේ විවිධත්වය දැකිය හැකි ය.
භාෂාෙව් පවත්නා මෙකී විවිධත්වය වඩාත් සාක්ෂාත් කරගැනීමට විශේෂයෙන් ප්රාදේශික
අනන්යතාව අවබෝධ කරගැනීමට, ලක්දිව හෙළ බස විශේෂ මෙහෙක් ඉටු කරයි.
වර්ග ප්රමාණයෙන් වෙනත් රටවලට වඩා කුඩා වුවද ලක්දිව හෙළ භාෂාව තරම්
විවිධානුකරණයට ලක්වු භාෂාවක් නැති තරම් ය. මේ වෙනස්කම් අවබෝධ කොට ගැන්මට නම් මෙකී
ප්රාදේශීක උපභාෂා සියල්ල අධ්යයනයට ලක්
කළ යුතු ය. එක ම හෙළ බස ප්රදේශයෙන් ප්රදේශයට විවිධ වේ. එක ප්රදේශයක ජීවත් වන පිරිස සිය සමාජ කොටස්වලට අයත්
පිරිස සමඟ පවත්වන සමීප සම්බන්ධතාව එවන් තවත් පිටස්තර සමාජ කොට්ඨාසයකට අයත් පිරිස
සමඟ පවත්වන සමීප සම්බන්ධතාවට වඩා දැඩි ය. ලෙනාඩ් බ්ලුම්ෆීල්ඩ්ට අනුව මේ සම්බන්ධතා
ඝනත්වය වෙන ම භාෂා සමාජයක් ගොඩනැඟීමට තරම් ප්රබල ය.
ප්රදේශීය භාෂාවල වැදගත්කම වන්නේ එය හැඟීම් ජනනයට බෙහෙවින් ඉවහල් වීමයි.
එබැවින් ඉක්මනින් නිරවුල් ව භාෂාව ප්රයෝජනයට ගත හැකි
ය. එනම් ප්රාදේශික අර්ථාවබෝධයට ද බෙහෙවින් ඉවහල් වේ. එබැවින් අන්යොන්ය අවබෝධය
වැඩි වී සහයෝගය ගොඩනැංවීමෙන් සමාජ චිර පැවැත්ම ඇති වේ. ප්රාදේශික
භාෂාවන් පිළිබඳ ලබාගන්නා වූ අවබෝධය එක පළාතක සිට තවත් පළාතකට ගිය විට තම වැඩකටයුතු
පහසුවෙන් කරගෙන යෑමට ඉවහල් වේ. ප්රාදේශීය ව්යවහාරයන්
කරුණු තුනක් ඔස්සේ අපට සැලකිල්ලට ගත හැකි ය.
එනම්: එක් පදයක්, එක වචනයක්, එක් සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල යෙදෙන ප්රාදේශීය ව්යවහාර.
දෙවැන්න: එක ම පදය සඳහා විවිධ ප්රදේශවල යෙදෙන ව්යවහාර.
තුන්වැන්න: ශබ්ද ධ්වනිය යොදාගැනීම මඟින් එසේත් නැති
නම් වාක්ය හා වචන උච්චාරණය කරන ආකාරයට සකස්ව තිබෙන ප්රාදේශීය ව්යවහාර ආදි
ලෙසිනි.
මෙසේ කොටස් වන භාෂාව බෙහෙවින් ම සංකීර්ණ ස්වරූපයක් ගනී. එහෙත් එක ම රටක ජනතාවක්
වශයෙන්, ලෝකයට ම සුවිශේෂ වූ වඳ වී යන භාෂාවක් වශයෙනුත් හෙළ බස තුළ වූ මෙකී අනන්යතාව අප
අවබෝධ කොට ගත යුතු වන්නේ ය.
දවසේ විවිධ කාලයන් සඳහා යෙදෙන ප්රාදේශික ව්යවහාරයන්
කෙරෙහි අවධානය යොමු කිරීමේදී පළාත් වශයෙන් ඉතා සුවිශේෂ වූ වචන මාලාවක් දැකගත හැකි
ය. උදය කාලය හැඳින්වීම සඳහා මොනරාගල භාවිතා වන්නේ, “ඇටි කුකුළා
බුග්ගහන වෙලාව” වශයෙනි. එය ම දකුණු පළාතේදී “කළු කපා
එළිය” යනුවෙන් ද එය ඇතැම් පළාත්වල “කළුව” යනුවෙන්ද, “උන්දැපං
කළුවෙන්ම ආවා” යනුවෙන් ඇතැම් පළාත්වල ද ව්යවහාර වන
අතර එය “උදැහන” යනුවෙන් බොහෝ පළාත්වල ව්යවහාර වේ. මධ්යහ්නය
හැඳින්වීමට ඇතැම් පළාත්වල විශේෂිත වූ ව්යවහාරයන්
දක්නට ලැබේ. ඒ අතර විශේෂයෙන් දකුණු පළාතේදී, “හිටි පියවර”යනුවෙන් හා
ගිනි මද්දහනේ යන්න හරියට ම දවල් දොළහ හැඳින්වීමට ද යොදන වදනකි. හැන්දැවට ඉර
බැහැගෙන යන වෙලාව බොහෝ විට හඳුන්වන්නේ “රාස්සිගේ අව්ව වැටෙන වෙලාව” යනුවෙනි.
එමෙන්ම එය මොනරාගලදී “ඉර ගල වැටෙනවා” යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ පළාත්වල එය, “ගොම්මන්
වේලාව” වශයෙන්ද හඳුන්වයි. රාත්රියේ පවතින දැඩි කළුවර “තිත්ත
කළුවර හෝ ඇට්ට කළුවර” වෙයි. මේ අන්දමින් මැදියම හැඳින්වීමටද විවිධ පද භාවිතා වේ. “දෙරූ මැද, දෙට
දෙමන්දන් වෙලාව” යන්නෙන් මෙන් ම “යක්කු ගස් යන වෙලාව” වශයෙන් හඳුන්වන්නේ ද එයයි.
පුද්ගලයන් හැඳින්වීම සඳහාත්, දිවි මගේ
එක් එක් අවධියන් හැඳින්වීම සඳහාත් යෙදෙන දේශීය ව්යවහාරයන්
වේ කුඩා දැරියන් හැඳින්වීමට බොහෝ පළාත්වල “කෙලී” යන්න
යොදාගනී. ආදිවාසීන්ගේ බසට අනුව හොඳට ඇහැට කනට පෙනෙන යුවතියක හඳුන්වන්නේ “කිරිලෝබ
කැකුළිය” වශයෙනි. දිගාමඬුල්ල පැත්තේ මේ සඳහා යොදන ව්යවහාරය
වන්නේ “කොළා” යනුවෙනි. එමෙන්ම හුරුලුගම් වැට පළාතේ දී “කිඩැල්ල” යනුවෙන් ද
භාවිතා වේ. දකුණු පළෙත්දී හොඳට ඇහැට කනට පෙනෙන යුවතිය “ගිනි
කිකිළිය” යනුවෙන්ද, උඩරට පළාතේ දී ඇය, “අංගපුලාව” නමින් ද හඳුන්වයි. කාන්තාව හැඳින්වීමට විවිධ ප්රාදේශික
වචන මාලාවක් ඇත. එනම්: “ මායියා” යනුවෙන් ද ග්රාමීය කාන්තාව හඳුන්වයි. මොනරාගල ප්රදේශයේදී
වයසක කාන්තාව හඳුන්වන්නේ “බුඩී” යනුවෙනි. ඒ පළාතේදී “මේ බුඩියො කොහෙද යන්නේ” යනුවෙන් ගෞරවාර්ථයෙන්
භාවිත වන ව්යවහාරයන් ය.
කෘෂිකාර්මික වදන් භාවිතයේදී දිගාමඬුලු පළාතේ අහස් දියෙන් වගා කරන කොටස, “මුම්මාර” නම් වේ. ගං
හෝ වැව් දියෙන් වගා කරන කොටස “මානාවර” නම් වේ. ප්රමාණයෙන්
කුඩා කුඹුරු “වහල කනටිය” නමින් හඳුන්වයි.
එමෙන්ම දකුණු පළාතේ දී හරකුන් නැතිව කුඹුරු හෑම හඳුන්වන්නේ “ පුරන්
කෙටීම” ලෙසිනි. උඩරට පළාතේදී එය “බිං නැගුම” නමින්
හඳුන්වයි. දිගාමඬුල්ල පළාතේ කුඹුරු හිමියාට ලැබෙන
අස්වනු කොටස “මුත්තෙට්ටුව” නම් වෙයි. මාතර, හම්බන්තොට පළාත්වලදී වැඩ කරන අයට දෙන අස්වැන්න හඳුන්වන්නේ “වලහං දීම” යනුවෙනි.
පැරණි කාලයේ ප්රධානම ආදායම් මාර්ගය වූයේ හේන් ගොවිතැනයි. හේන් ගොවිතැන් කරන විට කටු
ආදියෙන් පරිස්සම් වීම සඳහා යොදන පාවහන් හුරුළුගම් වැට පළාතේ හඳුන්වන්නේ “වාං පතුල්” යනුවෙනි. “ඔය හරියේ
අන්දර කටු බොහෝම. මේ වාං පතුල් දෙක දාගෙන පලයල්ලා” යනුවෙන් ඒ
පළාතේ ව්යවහාර වේ.
දකුණු පළාතේ “පිපිඤ්ඤ” යනුවෙන් හඳුන්වන එළවළු වර්ගය මොනරාගල හා හම්බන්තොට වගා බිම් වලදී
හඳුන්වන්නේ “තියඹරා” යනුවෙනි. කෙසෙල් වගාවේදී ද විවිධාකාර ප්රාදේශික ව්යවහාරයන්
භාවිතා වේ. දිගාමඬුලු ප්රදේශයේදී කෙහෙල් කැන් හඳුන්වන්නේ “වතුකැට” ලෙසිනි.
රොඩි රැහේදී කෙසෙල් කැන් හඳුන්වන්නේ “පබ්බුරුකට”යනුවෙනි.
කෙසෙල් කොළය ගින්නෙන් රත් කළ විට එය “පත් කොළේ” නම් වේ.
මුහුදු බඩ පළාත්වල ද එකී පළාත්වලට ම ආවේණික වන්නා වූ ප්රාදේශික ව්යවහාරයන්
දක්නට ලැබේ. එනම්, මසුන් අල්ලන්නට නොයන කාලය “වාරකන්” නම් වෙයි.
කාලගුණය හැඳින්වීමට “ඉරක්කුව” යනුවෙන් සුවිශේෂ වදනක් භාවිත වන අතර ම, මුහුදු
ගමනේදී එහි ධීවර නායකයා හඳුන්වන්නේ “මරක්කලාහේ”යනුවෙනි.
ප්රදේශීය ව්යවහාරයන් යෙදෙන්නේ එබඳු වූ පොදු ව්යවහාරයක්
සඳහා ම පමණක් නොවේ. එක ම පදය සඳහා ප්රාදේශිය ව
යෙදෙන විවිධ අර්ථ රැසක් දක්නට ලැබේ.
උඩරට පළාතේ “අම්මාණ්ඩී” යන්න යෙදෙන්නේ “මාමාට” ය. එහෙත් එය දකුණු පළාතේ ව්යවහාර
වන්නේ සිය “මෑණියන්ට” ය. එවිට ඒ විවිධාර්ථවත් බව සපුරා ම වෙනස් ස්වරූපයක් ගනී.
“තාත්තුව” යන්නද එබඳු ම වූ වචනයකි. උඩරටදී තාත්තුවා යනු “සුබ මංගල්ල” යයි එහෙත්
එය පහත රට දී ඊට සපුරාම වෙනස් වූ අර්ථයකට හිමිකම් කියයි. එනම් “විවිධ රෝග, දුක සංකාව, කාන්සිය” වැනි
දුක්ඛදායි තේරැමකට අදාළ වේ.
කේන්ති ආ විටදි උඩරටදී භාවිතා වන්නේ “අඩේ, අඩා, පන්නඩේ” යනුවෙන් ය.
එය දකුණු පළාතේදී “තරහ ගියා” යනුවෙන් භාවිතා වේ.
උඩරටදී කුමක් හෝ “කියෙව්වා” යනුවෙන් භාවිතා වන විට එය ම පහතරටදී “කීවා” යනුවෙන්
භාවිතා වේ. ධ්වනිය මතු කරන ආකාරයෙන් එසේත් නැති නම් උච්චාරණ ශෛලියෙන් ද ප්රදේශීය ව්යවහාර
විවිධාකාර වේ.
දකුණු පළාතේදී ප්රශ්නයක් ඇසීමට, “මක්කටෙයි” “අර මක්කටෙයි” යනාදි වශයෙන් ව්යවහාර වේ. කතාබහ කිරීමේදී, “මක්කටෙයි හිටපු තැනට ආපහු යන්නේ” යනුවෙන් ප්රශ්න කරනු
දකුණු පළාතේ දැකිය හැකි ය. සමහර පළාත්වල “මොකෝ” යනුවෙන් ව්යවහාර වේ.
අම්පාර, බිබිල වැනි ප්රදේශවල “ද” යෙදෙන්නේ බොහෝ අඩුවෙනි. ඔවුහු, “නෑවා?”, “කෑවා?”, “බීවා?” යනුවෙන් “ද” නොයොදා ප්රශ්න ගොඩනඟති.
බස්නාහිර පළාතේදී පොල් පිළිබඳ ප්රශ්න කිරීමේදී, “පොල්
ලෙලිගැහුවද?” යනුවෙන් ප්රශ්න කළද, දකුණු පළාතේදී එය,”පොල් ඔයනවාද?” යනුවෙන් ව්යවහාර වේ.
එමෙන් ම මධ්යම පළාතේදී “ඇන්න” යනුවෙන් ව්යවහාර වන පදය ම බස්නාහිර හා දකුණු පළාතේදී “අරන්” යනුවෙන් ව්යවහාර වේ.
බස්නාහිර පළාතේදී ගෙදර පොඩි ම සාමාජිකයා
හැඳින්වීමට “පුංචි” යනුවෙන් ව්යවහාර වේ. එය ම මධ්යම පළාතේදී “පිංචි” යනුවෙන්ද දකුණු පළාතේදී එයම, “හින්නි”යනුවෙන් ද ව්යවහාර වේ.
දකුණු පළාතේ දී, “හින්නි හාමිනේ කොයිබ යන්නේ” යනුවෙන්
අදහස් ප්රකාශ කිරීමක් දැකිය හැකි ය.
මධ්යම පළාතේදී කුමක් හෝ දෙයක් කිරිමට ඇති හැකියාව, “පුළුවනි” යනුවෙන් ව්යවහාර වුවද
දකුණු පළාතේදී එය ම, “ඇහැකි” යනුවෙන් ව්යවහාර වේ.
උතුරු මැද, මොනරාගල වැනි ප්රදේශ වල බස්නාහිර, මධ්යම, දකුණු යන ප්රදේශවලට වඩා වෙනස් වූ ව්යවහාර යොදාගන්නා බව, “අඹනවා” වැනි ව්යවහාරවලින්
ප්රත්යක්ෂ වේ. බස්නාහිර. දකුණු, මධ්යම පළාත්වල
“අඹනවා” යන්නෙන්
අදහස් කරන්නේ පිළිමයක් වැනි දෙයක් නිර්මාණය කළ හැකි වීම වුවද මොනරාගල, උතුරු මැද
වැනි ප්රදේශවල ඉන් අදහස් කෙරෙනුයේ සතකු පලවා හැරීම ය. “සකලයො
අඹනවා” යනුවෙන් කුරුල්ලන් එළවනවා යන්න අදහස් වේ. එපමණක් නොවේ. එක ම භාෂා සමාජය තුළ
පවතින මේ විවිධතාවය ශබ්දමය, ව්යාකරණමය හෝ වචන කෝෂයම විය හැකිය.
ශබ්දමය විෂමතාවය සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලිව දිස් වන වෙනස්කම්
කිහිපයක් විද්යමාන වේ. එනම්: බස්නාහිර පළාතේ “ගන්ඩා” යනුවෙන්
උච්චාරණය වන වචනය මධ්යම පළාතේ දී “ගන්ට” යනුවෙන්ද දකුණු පළාතේ දී “ගන්න” යනුවෙන් ද
ව්යවහාර වනු දැකිය හැකි ය.
ශබ්ද විෂමතාවයේදී ව්යාකරණමය විවිධතාව ද අප සැලකිල්ලට ලක් වන
තවත් අංශයකි. මධ්යම පළාතේදී පියාට ව්යවහාර වන්නේ “අප්පච්චි” යනුවෙන්
වුවද පහතරට දී එය “තාත්තා” යනුවෙන් ව්යවහාර වේ. එමෙන්ම මධ්යම පළාතේ දී “මොනවා” යනුවෙන් ව්යවහාරික
වචනය පහතරටදී “මක්කැයි” යනුවෙන් වෙනස් වේ. එමෙන්ම මධ්යම පළාතේදී
“කථා කරනවා” යනුවෙන් ව්යවහාර වන
වචනය පහතරටදී “දොඩනවා” යනුවෙන් ව්යවහාර වේ. එකම භාෂාවකට අයත් භාෂා සංස්ථිතිය තුළ දක්නට ලැබෙන විශේෂතා ප්රධාන
වශයෙන් තෙයාකාර ය. එනම්:
1. ප්රාදේශික උපභාෂා
2. සාමාජික උපභාෂා
3. ප්රස්තාවික උපභාෂා වශයෙනි.
කුලය, ධනය , බලය, පන්තිය යනාදි විවිධ සමාජීය හේතු සාධක මත එක ම මානව වර්ගයා කැඩී බිඳී පොදු
සමාජයෙන් වෙන් වී ජීවත් වන බැවින් ඔවුන් ව්යවහාර කරන
භාෂාව ද පොදු සමාජීය භාෂාවට වඩා වෙනස් වේ.
උදා: රොඩී බස හා වැදි බස
ලක්දිව නැඟෙනහිර වනගත පෙදෙස්වල අදත් සුළු වශයෙන් ජීවත් වන වැද්දන්ගේ භාෂාව
උපභාෂාවක් වශයෙන් හැඳින්වීම යෝග්ය නොවන බව ම ව සුගතපාල සිල්වා මහතාගේ
අදහසයි.
වැද්දන්ගේ වැදි භාෂාව පොදු භාෂාවෙන් වෙන් කොට හඳුනාගත
හැකි වන නිසාත් පොදු භාෂාවට වඩා වෙනස් ව ව්යවහාර වන
නිසාත් එය සාමාජික උපභාෂාවක් වශයෙන් හැඳින්වීම වරදක් නොවේ. වැදි බසේ විශේෂ
ලක්ෂණයක් වන්නේ අප්රාණවාචි නාමපද වලට “පොජ්ජ” යන්නත් යොදා ගැනීමයි.
උදාහරණ:
“තලා වරිග පොජ්ජ තනා දමලා තියෙන්නේ. ඒ කිරි අම්මලෑත්තෝ කැලෑ පොජ්ජේ මංගච්චන
කාලපොජ්ජෙදිං ඒ කිරි අම්මලෑත්තන්ගේ බඩපොජ්ජේ කැකුළෙක් ඉඳුතිබාලා තියෙනවා.”
එහෙත් රොඩී ජනයා සාමාන්යයෙන් සිංහල ව්යවහාර කරන
අතර වෙනස් කුලීන පිරිස් සිටින විට රහසිගතව අන්යයන්ට වටහාගත නොහැකි ව්යවහාරයක් ද
යොදා ගනිති.
උදාහරණ: “මේ පෑල්ල අතු පොඩ්ඩෙයි යැප්පුවෙ... මහ ලෝපෑල්ල!”
(මේ ගෑනි වී පොඩ්ඩයි දුන්නේ... මහ ලෝබ ගෑනි!) ඒ අවස්ථාවට ඒ කාර්යයට ඒ
ස්ථානයට පමණක් සීමා වූ එක්තරා පරිසරයකට පමණක් අර්ථාන්විත වූ භාෂා ව්යවහාර “පරිමිත
භාෂා” ලෙස හැඳින්විය හැකි ය. පරිමිත භාෂා ව්යවහාරයේ
යෙදෙන වදන් පොදු ව්යවහාරයේදී වෙනත් අර්ථ ප්රකාශ කිරීම සඳහා යොදාගැනේ.
පරිමිත ව්යවහාරයේ කමත් භාෂාවේදී “යතුර” යන වදන
යොදාගන්නේ “කුල්ල” හැඳින්වීම සඳහා වුවද පොදු ව්යවහාරයේදී ඒ වදනින් හැඟවෙන උපකරණය යොදාගන්නේ “දොර ඇරීම
වැසීම සඳහාය”. පරිමිත ව්යවහාරයේ “කොට උඩ යනවා” යනු “වාහනයක් කොට උඩ තැබීම” වුව ද පොදු ව්යවහාරයේදී
කොට උඩ යනවා යනු “පිරිහීමට පත්වීමයි.” එමෙන් ම පරිමිත ව්යවහාරයේ “මුදුනා” යන්නෙන් ගොයම් කොළ මැඩිමේදී “හරකුන්” හැඳින්වීම
සඳහා යොදා ගත්තාද ඒ වදන ම පොදු ව්යවහාරයේ
යෙදෙන්නේ “උඹ ඉතින් කොහෙත් මුදුනා වෙන්න හදනවනේ!” යනුවෙනි.
මෙහි “මුදුනා” යන්න සතකු හැඳින්වීම සඳහා යොදාගත්තක් නොව ඕනෑ ම කටයුත්තකදී ඉදිරියට පැන එකී
කටයුත්ත සිදු කරන්නකු පිළිබඳ ව දැක්වීමට යොදාගත්තකි.
මෙලෙස භාෂාව වූකලී අපූර්වතම මානව නිර්මාණයකි. ප්රාදේශීය ව්යවහාරයෙන්
මතු වී පෙනෙන්නේ භාෂාවේ විස්මිත ස්වරූපය යි. විවිධ පළාත් අනුව සැලකීමේදී අප භාෂාව
කොතරම් වෙනසකට ලක් වන්නේ ද යත්: එය විවිධාකාර භාෂාවන්හි එකතුවක් සදිසි ය. මේ කුඩා
දිවයිනේ මනරම් බව භාෂා මනෝරම්යයෙන් ද හැඩ වී ඇත්තේ එලෙස ය.
13 Comments
👍👍👍👍
ReplyDeleteNiyamai
ReplyDeleteGood
ReplyDeleteGreat🎉️
ReplyDelete💛🥂
ReplyDeleteGood 👍
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteGood article
ReplyDeleteGood Article
ReplyDelete👍👍
ReplyDeleteBest one👌
ReplyDelete