රටක තොරතුරු පද්ධතියේ කේන්ද්‍රස්ථානය ලෙස එරට ජාතික පුස්තකාලය හැඳින්විය හැකිය. එසේම එරට බිහි වන තොරතුරු සම්පත් හා ග්රන්ථ මූලාශ්‍ර එම රටට ආවේණික වූ සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික වශයෙන් අනන්‍ය වූ ලක්ෂණ පෙන්නුම් කරයි. එම තොරතුරු සම්පත් ඒකරාශී කර වර්තමාන හා අනාගත පරම්පරාවන්ගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කරනුයේ ජාතික පුස්තකාලය විසිනි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල ජාතික පුස්තකාල පිහිටුවා ඇත. එක්සත් රාජධානිය ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කොරියාව ඇතුළු රටවල් ඊට නිදසුන් කිහිපයකි. ඉන්දියාව, තායිලන්තය වැනි රටවල ජාතික පුස්තකාල වසර සියයකට වඩා පැරැණිය.
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය පිහිටවනු ලැබුවේ වර්ෂ 1990 දීය. ජාතික පුස්තකාලයක කාර්යයන් පිළිබඳ විවිධ මත මෙන්ම, නිර්නායක ඉදිරිපත් වී තිබුණත් යුනෙස්කෝ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති හැඳින්වීම මේ අතර සුවිශේෂීය. ඒ අනුව ජාතික පුස්තකාලය ජාතියේ ප්‍රමුඛතම පුස්තකාලය විය යුතුය යන්න ඔවුන්ගේ පිළිගැනීමයි. එමෙන්ම එය සමස්ත රටෙහි පවත්වාගෙන යනු ලබන අනෙකුත් පුස්තකාල හා තොරතුරු සේවාවන් සඳහා නායකත්වය ලබා දිය යුතු වේ. එසේම ජාත්‍යන්තරයේ පවතින වෙනත් පුස්තකාල හා සමඟ සම්බන්ධ වෙමින් ඵෙන්ද්‍රීය සම්බඳතාවක් ද පවත්වා ගත යුතු වේ. ජාතික පුස්තකාලය ජනතාවගේ බුද්ධිමය, සංස්කෘතිමය සහ අධ්‍යාත්මික සංවර්ධනය නඟා සිටුවීමට නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා නිරන්තරයෙන් වෙනස් වන තාක්ෂණික හා නව ක්රමෝපායන් සමඟ සම්බන්ධ වෙමින් නවතාවයන්ට අනුව ක්‍රියා කිරීම සිදු කරනු ලැබේ.
ජාතික පුස්තකාලය යනු ප්‍රධාන වශයෙන් පර්යේෂණ හා විමර්ශන පුස්තකාලයකි. විවිධ විෂය හා විවිධ අරමුණ ඔස්සේ දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණෙන පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, ස්වාධීන පර්යේෂණවලට සම්බන්ධව සිටින පුද්ගලයින් ඇතුළු සියලුම පාඨකයන්ට සේවය සැලසීමට ජාතික පුස්තකාලය බැඳී සිටී. මේ අනුව අද වන විට ජාතික පුස්තකාලය සතුව ග්රන්ථ මිලියනයකට අධික ප්‍රමාණයක් ජාඨක පරිශීලනය වෙනුවෙන් වෙන් කර තිබේ. ජාතික පුස්තකාලය වෙත පැමිණෙන පාඨක අවශ්‍යතා සපුරාලීම සඳහා ප්රකාශනවල ස්වරූපය අනුව ග්රන්ථ විවිධ එකතු යටතේ වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.
ශ්‍රී ලංකා ජාතික එකතුව
මුද්‍රණකරුවන්ගේ හා ප්රකාශකයින්ගේ ආඥා පනතට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වන සෑම ප්‍රකාශනයකින්ම පිටපත් 5 බැගින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබේ. පසු කාලීනව සිදු වූ සංශෝධන හා නීති වෙනස් වීමෙන් මෙම පිටපත් 05න් එක් පිටපතක් ජාතික පුස්තකාලය වෙත ලබා දීම සිදු කරනු ලබයි. මේ නිසා රට තුළ ප්‍රකාශයට පත් වන ග්‍රන්ථවල පිටපතක් ජාතික පුස්තකාලය සතු වේ. මීට අමතරව විවිධ පරිත්‍යාග ඔස්සේ ලැබෙන විවිධ කෘති, අන්තර්ජාතික ප්‍රමිති අංක ක්‍රමය (ISBN / ISMN / ISSN) යටතේ ලැබෙන කෘති හා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විසින් රචනා කරනු ලබන කෘති ද මෙම ජාතික එකතුව තුළ ඇත.
එසේම මෙම ජාතික එකතුව පෝෂණය කිරීම සඳහා මෙරට විසූ ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ පෞද්ගලික පොත් එකතු හා ඔවුන් භාවිත කළ කෞතුක භාණ්ඩ එකතු ද යොදා ගෙන තිබේ.
මූලික විමර්ශන එකතුව
විශ්වකෝෂ, ශබ්දකෝෂ, අනුක්රමණිකා, ග්රන්ථ නාමාවලි, පාරිභාෂික ශබ්ද මාලා, ස්ථාන නාම, සාර සංග්‍රහ, ආදී පුළුල් පරාසයක පැතිරුණ විමර්ශන කෘති එකතුවකින් ජාතික පුස්තකාලයේ මූලික විමර්ශන එකතුව සමන්විත වේ.
පුස්තකාල හා විඥාපන විද්‍යා එකතුව
පුස්තකාල හා විඥාපන විද්‍යා විෂය ක්ෂේත්රයට අදාළ පොත්පත්, සඟරා, උපාධි නිබන්ධන ඇතුළු දේශීය හා විදේශීය වශයෙන් ප්රකාශනයට පත් වී ඇති කෘති රාශියකින් මෙම එකතුව සමන්විත වේ.
රජයේ ප්‍රකාශන එකතුව
විවිධ මට්ටමේ රාජ්‍ය ආයතන මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල වැදගත්කමක් සහිත ප්‍රකාශනවලින් මෙම එකතුව සමන්විත වේ. මෙම ප්‍රකාශන අතරට රජයේ ගැසට් පත්‍ර, පනත්, පනත් කෙටුම්පත්, හැන්සාඩ් වාර්තා, සැසි වාර්තා, පරිපාලන වාර්තා, ශ්‍රී ලංකා නීති වාර්තා, නව නීති වාර්තා, කොමිෂන් වාර්තා, රජයේ චක්‍රලේඛ, Blue Books, ඇතුළු රජයේ ප්‍රකාශන රාශියක් ඇතුළත් වේ.
පශ්චාත් උපාධි නිබන්ධන එකතුව
ශ්‍රී ලාංකික විද්වතුන් විසින් දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලට ඉදිරිපත් කරන ලද දර්ශනපති (MPhil) දර්ශන විශාරද (PhD), උපාධිවලට අදාළ නිබන්ධන මෙන්ම පුස්තකාල හා විඥාපන විද්‍යා විෂයට අදාළව ශාස්ත්‍රපති (MA) උපාධියේ සිට ඉහළ උපාධි සඳහා ඉදිරිපත් කරන ලද උපාධි නිබන්ධන ද මෙම එකතුවට ඇතුළත්ය.
පුවත්පත් එකතුව
1976 වසරේ සිට මෙතෙක් පළ වූ ජාතික පුවත්පත් ඇතුළු සෙසු පුවත්පත් නාම 300කට ආසන්න සංඛ්‍යාවකින් මෙම එකතුව සමන්විත වේ. මීට අමතරව ජාතික පුවත්පත්වල පළ වූ ලිපි එකතු ද පරිශීලනය කිරීමේ හැකියාව පාඨකයාට පවතී.
වාර සඟරා එකතුව
දේශීය හා විදේශීය වාර සඟරාවලින් සමන්විත වන මෙම එකතුව මඟින් පාඨකයන් හා පර්යේෂකයන් හට කාලීන තොරතුරු හා විවිධ විෂය යටතේ තොරතුරු සොයා ගැනීමට හැකි වේ. සිනමාව, සාහිත්‍ය, පරිසරය ඇතුළු විවිධ විෂය ඔස්සේ ප්රකාශනය වූ සිංහල හා දමිළ සඟරා මෙන්ම විදේශීය වැදගත්කමක් ඇති ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ සඟරා මෙම එකතුව තුළ අන්තර්ගත වේ.
මීට අමතරව ඉලෙක්ට්‍රොනික් සම්පත් එකතුව, දුර්ලභ පොත් එකතුව, පුස්කොල පොත් එකතුව, ජන සාහිත්‍ය එකතුව, අස්පර්ශීය සංස්කෘතික උරුමය පිළිබඳ එකතුව, ළමා පොත් එකතුව, යුනෙස්කෝ එකතුව, විදේශීය කෘති එකතුව, සිතියම් එකතුව ඇතුළු තවත් බොහෝ ග්රන්ථ එකතූන් ජාතික පුස්තකාලය විසින් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරනු ලබයි.
0 Comments