මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමුන් හරිම හැඩයි
පෙළක ළමුන් සුවඳ ගොඩයි”
කවියා විසින් ළමයින් නෙතට ප්‍රිය, සුවඳ හමන වස්තුවකට සමාන කළ ද වර්තමාන සමාජය තුළ ළමයින්ට හිමි වී ඇති ස්ථානය කෙබඳු ද? ළමයින්ට ඔවුන්ගේ ළමා ලෝකය අත්විඳීමට අවැසි නිසි ඉඩකඩ සැලසී තිබේද? ළමයින්ගේ අයිතිවාසිකම් කොතරම් දුරට සුරැකිව පවතීද? ළමයින් පිළිබඳව, ළමා ලෝකය පිළිබඳව තවදුරටත් දෑස් විවර කර බැලිය යුතු කාලයක් නොවේද?
මෙසේ පැවසීමට මූලිකම හේතුව වන්නේ වර්තමාන සමාජය තුළින් හෙළිදරව් වන ළමා හිංසන, ළමා අපයෝජන බහුලවීමයි. ළමා ලෝකය තුළ ළමයින්ට නිදහසේ සැරිසැරීමට වත්මන් සමාජය තුළ ඉඩහසර වෙන්නොවීමට බලපාන මූලික හේතු කවරේද? ලෝකයේ උසස්ම මනස හිමි වූ මිනිසාගේ මනස වර්තමානය වන විට කොතරම් නම් දූෂණය වී ඇත්ද? යන්න අපට අසන්නට දකින්නට ලැබෙන ළමා අපයෝජන, ළමා හිංසන හා ළමා මිනීමැරුම් තුළින් හෙළිදරව් වේ.
ළමා හිංසන, ළමා අපයෝජන පිළිබඳව කතා කිරීමට ප්‍රථම ළමයා යනු කවරේද? යන්න අවබෝධ කරගත යුතුය? මේ පිළිබඳව විවිධ අය විවිධ අදහස් පළකරනු ලැබුව ද ලොවම පිළිගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මඟින් ළමයෙකු ලෙස හඳුන්වනු ලබන්නේ අවුරුදු 18 ට අඩු සෑම තැනැත්තෙක්මය.
කොටදෙණියාවේ සේයා නැමැති අහිංසක මල් කැකුළ මිලිනවිමේ අවාසනාවන්ත සිදුවීම ළමයින් පිළිබඳ ව අප කාගේත් දෑස් නැවත විවර කිරීමට සමත් වූවා නොවේද?
පසුගිය දින කිහිපය තුළ සිදු වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය නිවසේ මෙහෙකාර සේවයට අමතරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා ද යොදාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කොතරම් සම්මුති, ප්‍රඥප්තිවලට අත්සන් තැබුව ද මෙවන් මල් කැකුළු අකාලයේ මිලින වී යන තෙක් අප සමාජය නිහඬ වන්නේ ඇයිද? මිනිස් මනස මෙතරම් විනාශවීමට බලපාන හේතු සොයා බැලිය යුතු කාලයයි මේ. එපමණක් නොව මෙම සිදුවීම් තුළින් අපට මව්පියන්ගේ වගකීම් පිළිබඳව ද තවදුරටත් සිතා බැලීමට ඉඩකඩ වෙන්කරනු ලැෙබ්. දරුවන්ගේ ආරක්ෂාව, අනාගතය පිළිබදව මව්පියන් තවදුරටත් සැළකිලිමත් විය යුතුය.
එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියෙහි 34 වෙනි වගන්තිය යටතේ ලිංගික අපයෝජන වලින් ආරක්ෂා වීමට ළමයින්ට අයිතියක් ඇති බව දක්වා ඇත. නමුත් එම අයිතිය සුරැකීමට වත්මන් සමාජය බැඳී සිටී ද යන්න පිළිබඳව මෙම සිදුවීම් දෙස බැලීමේ දී ගැටලුවක් පැන නගිනු ලැබේ.
ළමා මිනීමැරුම්, ළමා අපයෝජන, අතවර පමණක් නොව ළමා ශ්‍රමිකත්වය පිළිබඳව ද ඔබ අප සැමගේ අවධානය යොමු විය යුතුය. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි ළමා ශ්‍රමය පිළිබඳව මෙසේ සඳහන් වේ. “ආර්ථික වශයෙන් සූරා කෑමෙන් සහ අවදානම් වැඩ කිරීමෙන් ළමයා ආරක්ෂා කළයුතු බවත් ළමයාගේ සෞඛ්‍යට හෝ ශාරීරික, මානසික, අධ්‍යාත්මික, සදාචාරාත්මක හෝ සමාජ සංවර්ධනයට හානි කරවන මේ ක්‍රියාවකින් ආරක්ෂා කළ යුතුය.” යනුවෙනි.
නමුත් මෙම කුමන ප්‍රඥප්තියක් ක්‍රියාත්මක වුවද මෙරට තුළ ද ළමා ශ්‍රමිකත්වය අළෙවි වන ආකාරයක් අපට දැකගත හැකිය. මෙරට තුළ ළමා ශ්‍රමය වැඩි වශයෙන් ගෘහාශ්‍රිතව මෙන්ම ව්‍යාපාර කටයුතුවලට යොදා ගනු හඳුනාගත හැකිය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි කටයුතුවලට ළමා ශ්‍රමය යොදාගනු ලබන අවස්ථා පවතී.
මෙමඟින් ළමයින් කෲර වදහිංසා වලට ලක්වීම ද සිදුවන අතර එය විවිධ අවස්ථාවල මාධ්‍ය මඟින් පවා ප්‍රචාරය කරනු ලැබේ. නමුත් එවන් පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා නොදීම හේතුවෙන් නැවත නැවතත් මෙවන් ක්‍රියා සිදුවනු ලැබේ. එමගින් ළමයින්ගේ පෞරුෂ වර්ධනය දුර්වල වීම, අධ්‍යාපනය අඩාලවීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අතර එය ඔවුන්ගේ අනාගතය බිඳ වැටීමට හේතු වේ. මේ හේතුවෙන් ළමා අපයෝජන පිළිබඳ පමණක් නොව ළමා ශ්‍රමිකත්වය පිළිබඳව ද අපගේ අවධානය යොමු කරමින් ළමා පරපුර රැකගත යුතුය.
ළමා අපයෝජන, ළමා ශ්‍රමිකත්වය හා ළමා හිංසනය ආදී ළමයින්ට මුහුණ දීමට සිදුවන කුමන හෝ අකටයුත්තක් පිළිබඳව ඔබ දැනුවත්නම් නොපමාව ඒ පිළිබඳ ව වගකිව යුතු ආයතනයකට දැනුම්දිය යුතුය. මේ සඳහා ළඟම ඇති පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම්දීම මඟින් ද ළමා ජීවිත ආරක්ෂා කර ගැනීමට ඔබට හැකියාව පවතී.
මෙසේ ළමා ජීවිත වලට සිදුවන කුමන හෝ තර්ජනයක් පිළිබඳව ඔබ දැනුවත් නම් ඒ පිළිබඳව නිහඬව නොසිට ළමා ජීවිත සුරැකීම ඔබගේ යුතුකමකි.
සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 01 වෙනි දින ට ලෝක ළමා දිනය යෙදෙන අතර එය සෑම රටකම පාහේ අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබේ. නමුත් විය යුත්තේ ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස උත්සව පවත්වමින් සැමරීම පමණක්ම ද? නැත. ළමයින්ගේ අයිතිවාසිකම් සුරකිමින් ළමා ලෝකය ආරක්ෂා කිරීමට ද අප සැම වගබලා ගත යුතුය. එමෙන්ම වසරක එක් දිනක් පමණක් නොව අනාගතය භාර ගැනීමට සිටින අනාගත පරපුර වෙත සෑම විටම අවධානය යොමු කරමින් ඔවුන්ගේ ළමා ලෝකය සුරැකීමට අප වගබලා ගත යුතුය. එවිට සේයා වැනි අහිංසක දරුවන්ගේ ජීවිත මෙලෙස අකාලයේ මිලින වීම වළක්වා ගත හැකිය.
රෙට් ජීවනාලිය ළමා පරපුරයි. එකී ළමයා යහපත් පුරවැසියකු බවට පත්කිරීමට අවැසි නිසි මගපෙන්වීමත් සෞභාග්‍යමත් සංහිදියාවකින් යුතු ජාතියක් වශයෙන් නැගී සිටීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමත් වැඩිහිටි ඔබ අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීම ද වේ. මේ නිසා ළමයින්ගේ කායික, මානසික සංවර්ධනය ඇතිකරමින් ඔවුන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත කිරීම ඔබ අප සැමගේ යුතුකමකි.
3 Comments
වැදගත් ලිපියක්
ReplyDeleteTimely ❤
ReplyDeleteImportant
ReplyDelete